Friday, September 25, 2009

එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක

පරිවර්තන යුගයක යුග පුරුෂයා

එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක 50 වැනි ගුණ සමරුව නිමිත්තෙනි

නිදහසින් පසු ශ්‍රී ලංකාව තුළ පමණක්‌ නොව ජාත්‍යන්තර කතා බහට ලක්‌ වූ සුවිශේෂී දේශපාලන චරිත අතර නොමැකෙන නාමයක්‌ දිවංගත එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක ශ්‍රීමතාණන් හට හිමි වී තිබීම අතිශයෝක්‌තියක්‌ නොවේ.

1951 වසරේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය තම නායකත්වයෙන් පිහිටුවා මෙරට දේශපාලන ගමන් මඟට නව චින්තනයක්‌ එක්‌ කළ එතුමා අගමැති පදවිය දරමින් රට පාලනය කළේ වසර තුනක්‌ වැනි සුළු කාලයක්‌ වුවද එම කාලය තුළ ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයට එක්‌ කළ අමරණීය මතකයන් ශ්‍රී ලාංකීය මුළු මහත් දේශපාලන සංස්‌කෘතියම උඩු යටිකුරු කිරීමට සමත් විය.

1956 දී ලත් ජනතා ජයග්‍රහණය මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විසින් හඳුන්වනු ලබන්නේ බමුණු කුලය බිඳවැටීම යනුවෙනි. බමුණු කුලය බිඳ දැමීමට එතුමාට තෝතැන්න සකස්‌ කළේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයයි. සිංහලෙන් සිතා සිංහලෙන් කතා කරන ජනතාවට බණ්‌ඩාරනායක ශ්‍රීමතාණන්ගේ නාමය පවා ආකර්ෂණීය විය. එතුමා ශාන්ත තෝමස්‌ විද්‍යාලය සහ ඔක්‌ස්‌ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මෙරට ජන සමාජයේ ප්‍රභූ පැලැන්තිය නියෝජනය කZළ පරම්පරාවක පුරුකක්‌ වුවද ශ්‍රී ලාංකීය පොදු ජනතාවගේ හද ගැහෙන රිද්මය ඉතා කෙටි කලකින් හඳුනා ගැනීමට තරම් පරිණත දේශපාලන විඥනයකින් සමන්විත වීම කැපී පෙනිණි.

මේ නිසාම ටයි කෝට්‌ කලිසම් ගලවා දමා අව්‍යාජව ජාතික ඇඳුම තෝරා ගැනීමට නොබියව තීරණය කළේය. බෞද්ධ ධර්මය, චින්තනය සහ දර්ශනය තුළින් මේ අභීත දේශපාලනඥයාගේ පිළිවෙත පෝෂණය විය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය පිහිටුවා 1956 දී එතුමා බලයට එන තුරුම මේ රට පාලනය කළේ එංගලන්ත පාලකයන් වෙනුවෙන් පෙනී සිටි අධිරාජ්‍ය ගැති නායකයින් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එංගලන්තයට වහින විට මෙරට සිට වැහි කබා පෙරවූ, ඉංග්‍රීසියෙන් සිතා කතා කළ ක්‍රියා කළ බමුණු කුලවාදීන් යටපත් කොට දේශීයත්වයට මුල් තැන දෙන පරිවර්තන යුගයක්‌ බිහි කිරීමට බණ්‌ඩාරනායක දේශපාලන පෞරුෂයට හැකි වීම ශ්‍රී ලාංකීය ජනතාව ලැබූ භාග්‍යයකි.

හොරගොල්ල වළව්ව තිඹිරිගෙය කර ගනිමින් රන් හැන්දෙන් රන් කිරි කට ගෑ මේ අව්‍යාජ දේශපාලන චරිතය පිළිබඳ ජනතාව බොහෝ දේ කතා කොට ඇත. අදත් කතා කරති. බණ්‌ඩාරනායක ප්‍රතිපත්තියක්‌ ගැන කියති, ලියති. එසේ වීමට හේතු කාරණා බොහෝ තිබේ. ප්‍රධානම කාරණය නම් එතුමා පොදු ජන හදවත් තුළ ලැගුම් ගැනීමය. මේ රට සංස්‌කෘතියක්‌ ඇති, බුදු දහමින් පෝෂණය වූ රටක්‌ බවත් මේ රට පාලනය කිරීමට නම් මේ කරුණු දෙක වඩාත් හොඳින් අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය බවක්‌ එතුමා අවබෝධ කරගෙන සිටි හෙයිනි. 1956 රජයේ කැබිනෙට්‌ටුවට ඇතුළු වූ සංස්‌කෘතික ඇමැති පදවිය අදත් නොවෙනස්‌ව පවතින්නේ මේ නිසාය. ඇළ, දොළ, වෙල, කමත, නියර පාගන ජනතාවට හිතන්නට යමක්‌ ඇති බව එතුමා තේරුම් ගත්තේය.

අට ලෝ දහම තරයේම පිළිගත් එතුමා සැබැවින්ම ජාතියේ අනන්‍ය ලකුණ විය. විදුදය, විදුලකර පිරිවෙන් සරසවි බවට පත් කරද්දී කළු සුද්දන්ගේ ඇස්‌ උඩ ගියේය. ගමනාගමනය සහ වරාය ජනසතු කරද්දී අධිරාජ්‍ය ගැති පාලකයෝ විශ්මයට පත් වූහ. සමුපකාර සංකල්පය ක්‍රියාත්මක කරද්දී බටහිර ව්‍යාපාරික ප්‍රජාව මුනින් තලා වූහ. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් වර්තමානයේ ද විවිධ පදනම් විරහිත තර්ක විතර්ක ඉදිරිපත් කරන්නෝ වෙති. එහෙත් බණ්‌ඩාරනායක ශ්‍රීමතාණන් එදා ගනු ලැබූ ඒ ඓතිහාසික තීන්දුවෙහි ප්‍රතිඵල වර්තමානයේ අප හමුවේ ජීවමානව පවතී.

ඉංග්‍රීසි භාෂාව හෝ ඉංග්‍රීසි අධ්‍යාපනය කෙරෙහි එතුමා තුළ අංශූ මාත්‍රයක හෝ වෛරයක්‌ නොතිබුණු බව බණ්‌ඩාරනායක චරිතය මැනවින් අධ්‍යයනය කරන ඕනෑම අයකුට වටහා ගත හැකිය. වසර හාරසියයක්‌ පුරා පැවති අධිරාජ්‍යවාදී පාලනයෙන් අන්ධ වී සිටි ශ්‍රී ලාංකීය පාලන තන්තZ්‍රය දේශීයත්වයට නැඹුරු වූ දේශීය සංස්‌කෘතිය අගයන පාලනයක්‌ බවට පත් කිරීම එතුමාගේ අරමුණ විය. එසේ ගනු ලැබූ ඓතිහාසික තීන්දුව සමග 56 විප්ලවයෙන් බිහි වූ දරුවන් වර්තමානයේ මෙරට සෑම ක්‌ෂේත්‍රයකම ඉහළම තලයට පැමිණ ඇති බව අවිවාදයෙන් පිළිගත යුතුය. බණ්‌ඩාරනායක ශ්‍රීමතාණන් එම තීන්දුව නොගත්තේ නම් මෙරට සාමාන්‍ය ගැමි ජනතාවගේ දූ පුතුන්ට ඉදිරියට ඒමට ඇති ඉඩ ප්‍රස්‌ථා අහිමි වන බව සැබෑ සත්‍යයයි.

බණ්‌ඩාරනායක මහතා මෙරටට සැබෑ නිදහස උදා කිරීමට කටයුතු කරන විට එයට බොහෝ දෙනා අකුල් හෙළුE බව නොරහසකි. එතුමා ඝාතනය කිරීමට දේශීය විදේශීය බලවේග කුමන්ත්‍රණය කළේ සාමුහිකවය.

බණ්‌ඩාරනායක ප්‍රතිපත්ති යන්න කවරේදැයි තවමත් බොහෝ දෙනා තුළ කුකුසක්‌ පවතී. එතුමා කිසිම බල කඳවුරකට ගැති නොවීය. කලින් පැවති රජයන් කරපිංචා කොළයක්‌ මෙන් ඉවතට දමා තිබුණු සෝවියට්‌ දේශය සමග තානාපති සබඳතා ඇති කරගත්තා පමණක්‌ නොව, මහා බුද්ධිමතෙකු වූ මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා එහි පළමු තානාපති ලෙසින් පත් කළේය. කිසිම බල කඳවුරකට නොබැඳි අධිරාජ්‍යවාදී රටවල් සමග ද මිතුරුකම් පවත්වමින්, මේ අධිරාජ්‍ය රටවල් හමුවේ නොසැලී සිටීමට තරම් එතුමාට ශක්‌තියක්‌ තිබිණ.

බණ්‌ඩාරනායක මහතා, පෙනුමෙන් සිරුරෙන් ආරෝහ පරිණාහ නොවීය. බණ්‌ඩාරනායක මහතා අගමැති පදවිය දරන විට ලෝකයේ විවිධ රටවල නායකකම් දැරුවේ ද එසේ මෙසේ පුද්ගලයින් නොවේ. ඉන්දියාවේ නේරු, චීනයේ චෞ එන්ලායි, සෝවියට්‌ දේශයේ කෲෂෙප්, බුරුමයේ ඌ තාන්, එංගලන්තයේ වින්ස්‌ටන් චර්චිල්, යනු ලෝකයේ අද්විතීය නායකයින්ය. ඔවුන් අතර පුංචි බණ්‌ඩාරනායක මහාමේරුවක්‌ සේ නැඟී සිටියේය.එතුමාට සතුරන් සිටියේ එතුමා ළඟමය. වැඩ වර්ජන මෙහෙයවා එතුමා අසීරුවට පත් කළේ ද එතුමාට බලයට ඒමට සහාය දුන් පාර්ශව වීම ද විශේෂත්වයකි. මේ සියල්ල මැද ඉන්ද්‍ර‚ලයක්‌ සේ නැඟී සිටියත් දෛවයේ සරදම ඉතා ප්‍රබල විය.

එතුමා සිංහල සාහිත්‍යයට කොතරම් ඇලුම් කළේද යත්, "මහසෝන් රීරි යකා" යනුවෙන් කතාවක්‌ ලීවේය. ඉංග්‍රීසි සාහිත්‍යය සහ ලතින් භාෂාව එතුමාගේ ප්‍රියතම විෂයයන් විය. බණ්‌ඩාරනායක මහතාගේ පියා අධිරාජ්‍යවාදයේ ප්‍රතිමූර්තියක්‌ විය. එංගලන්තයේ ඔක්‌ස්‌ෆර්ඩ් සරසවියෙන් උපාධි ලබා ලක්‌දිවට ආ විට බණ්‌ඩාරනායක මහතාට සිංහලෙන් කතා කිරීමට පවා නොහැකි විය. එතුමා දේශපාලනයට අවතීර්ණ වීමට වරම් ලැබීමට අනගාරික ධර්මපාලතුමා හමුවට ගියේය.

කවදත් කඨෝර බසින් කතා කරන ධර්මපාලතුමා එක්‌ විටම ඇසුවේ "..... උඹ ද අර සුද්දන්ගෙ සපත්තු ලෙවකන, රටට වැඩක්‌ නොකරන මහ මුදලියගෙ පුතා" යනුවෙන්ය. බණ්‌ඩාරනායක මහතා එයට කදිම පිළිතුරක්‌ දුන්නේය........." ඒ වුණාට ඒ මහ මුදලි ලොකු සේවයක්‌ කරල තියෙනව...... රටට වැඩක්‌ කරන්න මං වගේ පුතෙක්‌ හදාපු එක......"

බණ්‌ඩාරනායක මහතා විසින් මෙරටට ඉටු කරන ලද යුග මෙහෙවර ගැන බොහෝ තැන්වල ලියෑවී තිබේ. අප මෙහිදී සලකා බලන්නේ මේ පුංචි මිනිහා තුළ තිබූ ප්‍රෙෘඪ පෞරුෂය ගැනය. එතුමා ප්‍රශ්න වලට බිය වුණේ ද, එයින් පලා ගියේ ද නැත. තමාගේ කැබිනට්‌ මණ්‌ඩලය තුළින්ම විවිධ ගැටලු හා අභියෝග මතුවෙද්දී එතුමා සුපුරුදු සිනහවෙන් විහිළුවෙන් එම ගැටලු හා අභියෝග වලට මුහුණ දුන්නේය. හැම විටම මහා සංඝරත්නයට සහ ජනතා හඬට කන් දුන් එතුමා වචනයේ පරිසමාප්ත අරුතින්ම සැබෑ ප්‍රජාතාන්තZ්‍රsකවාදියෙක්‌ විය. තමා කොමියුනිස්‌ට්‌වාදියකු නොවූවත් කොමියුනිස්‌ට්‌ දහමට ගරු කරන බැව් ප්‍රකාශ කළේය.

බණ්‌ඩාරනායක මහතා කිට්‌ටු මිතුරන් සමග විහිළු තහළු කරද්දී හීන්සැරය මුදා හැරීයේය. සමහර විහිළු ඇස්‌ රතු කරන ඒවා වී නමුදු කිසිවෙකු හෝ එතුමාට ඉහළින් ගියේ නැත. බණ්‌ඩාරනායක පෞරුෂයේ එය ද සුවිශේෂී ලක්‌ෂණයකි. කිව යුතු දේ කෙළින්ම මුහුණටම කියන්ට තරම් ශක්‌තියක්‌ ද තිබුණේ ය. බණ්‌ඩාරනායක මහතා නාවින්ගේ ආයුර්වේද පර්යේෂණාගාරය විවෘත කළ දා ලද සතුට විවාහ වූ දාටත් වඩා ඉහළ බැව් ප්‍රකාශ කොට තිබුණේය. ආයුර්වේද විෂය කෙරෙහි එතුමා දැක්‌වූ කැමැත්ත ඉන් මනාව පැහැදිලි වේ.

බණ්‌ඩාරනායකවරුන් මෙරට ජන ජීවිතයට ගහට පොත්ත මෙන් ඇළුණ, යුගයක්‌ ඉක්‌මවා ගියේය. එය දැන් රාජපක්‌ෂවරුන්ට හිමිව තිබේ. එසේ වීම අතිශය යුක්‌ති සහගතය. බණ්‌ඩාරනායක ශ්‍රීමතාණන් ඇමැති පදවිය අතහැර විපක්‌ෂයට එද්දී සෙවනැල්ල මෙන් පසු පසින් ආවේ, එවකට හම්බන්තොට මන්ත්‍රීවරයාව සිටි වත්මන් ජනාධිපතිතුමාගේ පියා වූ ඩී. ඒ. රාජපක්‌ෂ මැතිතුමාය.

රටක අනාගතය තීරණය කරන තීරක සාධකය වන්නේ රටේ නායකයාය. නායකයාට දේශප්‍රේමය තිබිය යුතුය. ඉතිහාසය, සංස්‌කෘතිය, සාහිත්‍යය ගැන පුළුල් අවබෝධයක්‌ මෙන්ම ඊට ආදරයක්‌ හා ගෞරවයක්‌ ද බණ්‌ඩාරනායක ශ්‍රීමතාණන්ට තිබුණේය. ජනහිතකාමී චින්තනයෙන් සැබෑ මානව හිතවාදී සංකල්පය මත ගෙන ගිය බණ්‌ඩාරනායක පාලනය නොඉවසූ දේශීය හා විදේශීය කුමන්ත්‍රණකාරී බලවේග එම ගමනට නැවතීමේ තිත තැබීමට කෲරතර තීන්දුවකට එළඹ තිබිණ.

එහි ප්‍රතිඵලයක්‌ ලෙස චීවරධාරියකු ලෙස වෙස්‌ ගත් පුද්ගලයකු විසින් 1959 සැප්තැම්බර් 25 වන දින පෙරවරුවේ බණ්‌ඩාරනායක අග්‍රාමාත්‍යතුමා වෙත එල්ල කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් ඉන් පසු දින එනම් 1959 සැප්තැම්බර් 26 වැනි දා මේ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයා ජාතියෙන් සමුගත්තේය. 2009 සැප්තැම්බර් 26 වන දිනට මේ වියෝවට අඩසිය වසක්‌ සපිරෙයි. එතුමාගෙන් හිස්‌ වූ මෙරට දේශපාලන සංස්‌කෘතියේ හිඩැස 2005 නොවැම්බර් 17 වන තෙක්‌ම පිරවුණේ නැත. ජාතියේ දේශයේ පිනට දැන් එය සම්පූර්ණව ඇත. බණ්‌ඩාරනායක චින්තනයට හා දර්ශනයට ඇලුම් කළ, ගෞරව කළ ඕනෑම අයකුට සතුටු විය හැකි සැබෑ ජනතාවාදී යුqගයක්‌ ලෙස වත්මන් යුගය පිළිගැනීමට සියලු දෙනා නිහතමානී විය යුතුය.

No comments:

Post a Comment