Wednesday, January 6, 2010

කොටස්‌ වෙළෙඳ පොළේ වර්ධනයක්‌

ොටස්‌ වෙළෙඳ පොළේ වර්ධනයක්‌
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති
අජිත් නිවාඩ් කබ්රාල්


වසරක්‌ අවසන්ව, නව වසරක්‌ උදාවී ඇති මේ මොහොතේ ගෙවී ගිය වසරේ ආර්ථිකය පිළිබඳ නව වසරේ ආර්ථික අපේක්‍ෂා පිළිබඳවත් සාකච්ඡා කරන්නට අපි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මුණගැසුනෙමු. ජනපතිවරණයක්‌ ප්‍රකාශයට පත්ව ඇති මේ මොහොතේ ජනාධිපතිවරණ වේදිකාවෙන් ද ආර්ථිකය ගැන මේ දිනවල නොයෙකුත් කතා ඇසෙමින් තිබේ. ආර්ථිකය ගැන කියන සියලුම කරුණු කාරණා ගැන අපි මහ බැංකු අධිපතිවරයාගෙන් කෙළින්ම ප්‍රශ්න කළෙමු. පහතින් සටහන් වන්නේ "දිවයින" ඇසූ ප්‍රශ්නවලට මහ බැංකු අධිපතිවරයා ලබාදුන් පිළිතුරුයි.

ප්‍රශ්නය - මහ බැංකු අධිපතිතුමනි, ගෙවී ගිය 2009 වසර දෙස ආපසු හැරී බැලුවොත් එම වසරේ ආර්ථික ක්‍රියාකාරිත්වය ගැන ඔබට කියන්නට තිබෙන්නේ කුමක්‌ද?

පිළිතුර - මම දකින්නේ 2009 වර්ෂය ලංකා ඉතිහාසයේ අමාරුම අවුරුද්දක්‌ හැටියට. අපි හිතුවෙ 2008 අමාරුයි කියල. 2008 අවසන් වෙනකොට අපි හිතුවෙ අමාරු කාලයක්‌ පසු කළා, 2009 දී අපිට ඊට වඩා හොඳ යහපත් වාතාවරණයක්‌ ඇති වෙයි කියල. නමුත් එහෙම වුණේ නෑ. ඊට වඩා හාත්පසින්ම වෙනස්‌ ඊට වඩා දරුණු අමාරු වාතාවරණයක්‌ තමයි 2009 වසරෙදි උදා වුණේ. අපට මුහුණ දෙන්න සිදුවූ අභියෝග ඉතාමත් දැවැන්ත අභියෝග. නමුත් අපි ඒ අභියෝගවලට මුහුණ දීලා, ඒව ජය ගත්ත කියල කියන්න පුළුවන්. ඒ ගැන අපට සන්තෝසයක්‌ ඇති වෙනව.

ඒ සමගම අපි පාඩම් කීපයකුත් ඉගෙන ගත්තා. ලෝක ආර්ථික අර්බුදය දෙස බලන විට මෙවැනි තත්ත්වයක්‌ අපි කොහොමද කළමනාකරණය කර ගන්නෙ කියල. සමස්‌තයක්‌ ලෙස මට පෙනෙන්නේ විශාල අභියෝග වලට මුහුණ දී ජයගත් වසරක්‌ මෙන්ම යුද ජයග්‍රහණය තුළින් රටේ දීර්ඝ කාලයක්‌ තිසේසේ රටේ ආර්ථික ප්‍රගතියට තිබූ බාධාව මගහරවා ගත් වසරක්‌ ලෙස 2009 වසර ගැන අපට බලන්න පුළුවන්.

ප්‍රශ්නය - නමුත් 2009 වසරේදී රාජ්‍ය මූල්‍ය තත්ත්වයන් අයහපත් අතට හැරුණා නේද? ඉලක්‌ක කළ රාජ්‍ය ආදායම් උපයා ගන්න අසමත් වුණා. ඒ වගේම රාජ්‍ය වියදම් ඉහළ ගියා. රජයේ නිල ආර්ථික උපදේශකයා වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. අයහපත් අතට හැරුණු මේ රාජ්‍ය මුල්‍ය තත්ත්වය ගැන ඔබ කියන්නේ කුමක්‌ද?

පිළිතුර - අපට ඒ ඒ අවස්‌ථාවලදී කරන්නට සිදු වන දේවල් කරන්න වෙනව. අපට ඒව නවත්තල ඉන්න බැරි තත්ත්වයක්‌ තිබුණා. විශේෂයෙන්ම අපි 2009 වසරේදී යුද්ධය අවසන් කරන්න අවශ්‍ය සෑම සම්පතක්‌ම ලබා දුන්නා. ඒක කළේ ලේසියෙන් නෙවෙයි. අපි සැලකුවේ එය අනාගතයට කරන ආයෝජනයක්‌ ලෙසයි. අනාගතයේදී අපට තියෙන ගැටලු රැසක්‌ යුද්ධය අවසන් වුණොත් අපට නැති කරන්න හැකි වෙනවා කියන අරමුණින් තමයි අපි අමාරුවෙන් වුණත් මේ හැම සම්පතක්‌ම යුද්ධයට ලබා දුන්නේ.

තව උදාහරණයක්‌ මම කියන්නම්, අපි ගිය වසරේ සියලුම මහවැලි වේළි නැවත අලුත්වැඩියා කරන්න පටන් ගත්තා මේක කාටවත් පේන්නෙ නැහැ. අවුරුදු 25 කට පසුවයි මේ දේ කරන්නේ. ඒකට ඩොලර් මිලියන 70 ක්‌ වියදම් වෙනවා. කවුරුත් ඒ ගැන කතා කරන්නෙ නැහැ. නමුත් අපි එය නොකළොත් තව වසර කිහිපයකින් අපට විශාල ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන්. මේ වගේ අවුරුදු ගණනාවක්‌ තිස්‌සේ නොකරපු දේවලට අපි යොමුවෙලා තියෙනවා.

මේ වගේ යුද්ධයක්‌ කරමින්, රටේ දැවැන්ත සංවර්ධනයකුත් සිදුකරමින් ලෝක ආර්ථික අවපාතයන්ටත් මුහුණ දෙන්න අපට සිදු වුණා. ඒ නිසා අපේ ආනයන අපනයන අඩු වුණා. ඒ මත ලැබුණු බදු ආදායම් අහිමි වුණා. අපි ඒ නිසා විදෙස්‌ මුදල් සොයා ගත්තා. එහිදී නොයෙකුත් විවේචනත් අපට එල්ල කළා. නමුත් දැන් හිතන්න අප ගෙදර කරදරයක්‌ වුණොත් අප නිකන් ඉන්නවාද? ගෙදර වහලෙ කැඩුනෝතින්, අපි ණයවෙලා හරි ඒක කොහොමහරි හදා ගන්නව. සල්ලි නැහැ කියල නිකන් ඉන්නෙ නෑනෙ. ඒක අත්‍යවශ්‍ය දෙයක්‌ නිසයි අපි එය කරන්නේ. දැං අද අපේ කොටස්‌ වෙළෙඳ පොළේ ලොකු වර්ධනයක්‌ තියෙනවා. නමුත් ඒක කොහොමද වුණේ? යුද්ධය අවසන් කිරීම ඇතුළු අත්‍යවශ්‍ය දේවල් කළ නිසයි.

ඔය භාණ්‌ඩාගාරය හිස්‌ කියන කතාව හැමදාම කියන දෙයක්‌. ඇත්තටම ඒකනෙ විය යුත්තේ. එන මුදල අපි ඵලදායි ලෙස භාවිත කරන්න ඕන. භාණ්‌ඩාගාරය කියන්නේ සල්ලි එකතු කරගෙන, ගොඩගහගෙන කාමරයක දාගෙන ඉන්න තැනක්‌ නෙවෙයි. ලෝකෙම ඕනම රටක සල්ලි එන විදිහට ඒවා නිසි පරිදි අවශ්‍යතාවය පරිදි වියදම් කළ යුතුයි. නමුත් ඒ සමගම අපි දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස අපේ රාජ්‍ය ණය ප්‍රතිශතය අඩු කරගෙන තියෙනවා, සියයට අසූ ගණනකට. ඒ නිසා බදු වලින් ආපු මුදල් අපි ණයවලින් අරගෙන තියෙනවා. එහෙම අරන් රටට අත්‍යවශ්‍ය දේ කළා. එහි ප්‍රතිඵල අනාගතයෙදි ලැබෙයි.

ප්‍රශ්නය - යුද්ධය දිනුවට, මේ ආණ්‌ඩුවට ආර්ථිකය හදන්න බෑ කියල චෝදනාවකුත් එල්ල වෙනවා. ජනාධිපති අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාත් ප්‍රකාශ කළා ආර්ථිකය හැදීම අතින් එජාපය හොඳ ප්‍රවීණතාවක්‌ පෙන්වලා තියෙනවා කියල. ඒ නිසා මේ ආණ්‌ඩුවට ආර්ථිකය හදන්න බැහැ කියල එල්ල වන විවේචනය ගැන ඔබ මොකද කියන්නේ?

පිළිතුර - ආර්ථිකය කියන්නේ කුමක්‌ද කියල. ෆොන්සේකා මහත්තය හිතන හැටි මම නම් දන්නේ නැහැ. නමුත් අපි දන්නව ආර්ථික ප්‍රගතිය බලන්නේ යම් දර්ශක වලින් ප්‍රධානතම දර්ශකය තමයි. ආර්ථික වර්ධනය. ඉතිහාසයේ කවදාවත් නැහැ පිට පිට සියයට 6 ඉක්‌මවා ගිය ආර්ථික වර්ධනයක්‌ ලබාගත් වසර හතරක්‌ නමුත් 2005 - 2008 කාලයේ අපි ඒ ප්‍රගතිය ලබා ගත්තා. එවැනි ප්‍රගතියක්‌ ලබාගත්ත එකම වකවානුව මෙයයි. ඒ නිසා මේ කියන කතා මොනවද කියල අපිට හිතා ගන්න පුළුවන්.

යුද්දෙත් කරන්නෙ නැතිව එක රස්‌සාවක්‌වත් දෙන්නෙ නැතුව මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති පටන් ගත්තෙ නැතිව එජාප කාලෙ ආර්ථික වර්ධන වේගය තිබුණෙ සියයට 4 යි. එහෙනම් මොකක්‌ද මේ ආර්ථික කළමනාකරණය කියල ඒ අය කියන්නේ. මේ සියල්ල කරල තියෙන්නේ යුද්ධය කරන ගමන්.

යුද්ධෙ කරන ගමන් ආර්ථික වර්ධන වේගය වැඩි කර ගත්තා විරැකියාව අඩු කර ගත්තා, උද්ධමනය අඩුකර ගත්තා, සංචිත වැඩි කර ගත්තා, රාජ්‍ය ණය අඩුකර ගත්තා, පොළී අනුපාත අඩු කළා, මේ ඔක්‌කොම කළා. නමුත් මහජනතාව කියයි මේ කිසිවක්‌ නොකළත්, යුද්දෙ අවසන් කළ එකම ඇති කියල.

මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති කීයක්‌ කෙරීගෙන යනවද? පාරක්‌ අලුතින් හැදිල නැති ගමක්‌ තියෙනව නම් මට කියන්න? වෙන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලා නැති ගමක්‌ තියේ නම් කියන්න. උතුරු නැගෙනහිර කොතරම් සංවර්ධනයක්‌ සිදුවේගෙන යනවාද? එහෙනම් ආර්ථික කළමනාකරණයක්‌ නැහැ කියන්නෙ කොහොමද?

ප්‍රශ්නය - බඩු මිල වැඩියි කියලත් චෝදනා කරනවා?

පිළිතුර - අපි බඩු මිලත් එක්‌ක සාපේක්‍ෂව අපි බලන්න ඕන පඩි කොහොමද කියල, ආදායම් මාර්ග කොහොමද කියල. අද ජනතාවගේ ආදායම් මට්‌ටම් ජීවන තත්ත්වය වර්ධනය වෙලා තියනවා. අපි උද්ධමනය හොඳට පාලනය කරගෙන තියෙනවා. නමුත් ලෝකෙ කොහේ බැලුවත් මිනිස්‌සු කෙතරම් ආදායම් මට්‌ටමක්‌ ලැබුවත් තෘප්තිමත් වෙන්නෙ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්‌. ඒකත් ආර්ථික ඉදිරි ගමනට අවශ්‍යයි. කවදාවත් ආර්ථිකයක්‌ ගැන දන්නෙ නැති, ආර්ථික කටයුතු හසුරුවලා නැති මිනිස්‌සු මේව කියනව. ඒ ගැන අපිට කණගාටුයි. අද රටේ පුදුමාකාර වෙනසක්‌ වෙලා තියනවා. ඒක මම කියන නිසා නෙවෙයි, රටේ ඕන කෙනෙකුට පේනවා. මම නම් හිතන්නේ මේ ආර්ථික ප්‍රගතිය අපි ජනතාවට පැහැදිලි කරනව මදි කියලයි. දේශපාලන අරමුණු අනුව කරන ඔය විවේචනවලින් අපි සැලෙන්නේ නැහැ.

ප්‍රශ්නය - ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජනපතිවරණ සටන මෙහෙයවන පුද්ගලයකු බවට පත්ව සිටින මංගල සමරවීර මන්ත්‍රීවරයා කියනවා මහින්ද චින්තනයේ එක පොරොන්දුවක්‌වත් ඉටුකරලා නැහැ කියල. ඔබ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ හිටපු ලේකම් "මහින්ද චින්තන" වැඩපිළිවෙළට සෘජුවම දායකත්වය සැපයූ කෙනෙක්‌. මේ චෝදනාවට ඔබ පිළිතුර දෙන්නේ කෙසේද?

පිළිතුර - මේ අය සම්පූර්ණයෙන් බොරුවනෙ කියන්නෙ. ජනතාව දන්නවනෙ මොනවද කිව්වෙ, මොනවද කළේ කියල. පාරවල් හදල නැහැ කියනව. ඒ හදපු පාරෙම යන ගමන්. මේ සංවර්ධනය හංගල කරන්න පුළුවන් දෙයක්‌ නොවෙයිනෙ.

දේශපාලනයේදී ඔහොම කියනව. ඒ පැත්තෙන් මේ පැත්තට ආවම, මේ පැත්තෙන් ඒ පැත්තට ගියාම වැරැදි කියනව. මේව කරුණු රහිතව, නිකන් වචනවලින් ඉදිරිපත් කරන විවේචන පමණයි. අද සෑම ආර්ථික දර්ශකයකින්ම මේ ප්‍රගතිය පෙන්නුම් කරනවා. ඒ නිසා මහින්ද චින්තනයේ එක පොරොන්දුවක්‌වත් ඉටුවෙලා නැහැ කියන එක දේශපාලනිකව කියන කතාවක්‌.

ප්‍රශ්නය - ගෝල්ඩන් කී සක්‌විති ඇතුළු ආයතනවල තැන්පත්කරුවන්ගේ ප්‍රශ්නය විසඳීමට නම් එම ආයතනවල වත්කම් දේපළ රජයට පවරාගෙන අදාළ තැන්පත්කරුවන්ට රජය විසින් බැඳුම්කර ලබාදිය යුතු බව ජනාධිපති අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළා. අපි දන්නවා රජය වෙනුවෙන් මේ බැඳුම්කර නිකුත් කිරීම සිදු කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසිනුයි. මේ වැඩේ කරන්න පුළුවන් වැඩක්‌ද?

පිළිතුර - මේ දේවල් අපි වගකීමෙන් කටයුතු කරන්න ඕන. මේ ගැන නොදන්න, වගකීමක්‌ නැති අයට ඕන දෙයක්‌ කියන්න පුළුවන්. ඒක හරි පහසුයි. දැන් අපිට පේනව හැමදෙයක්‌ම දෙන්න පුළුවන් කතා තමයි අපට ඇහෙන්නේ. හඳෙන් හරි හාල් ගෙනත් දෙන්නම් කියනව වගේ. මෙහෙම කියන කතාවලට ආර්ථිකමය හා මූල්‍යමය වශයෙන් පදනමක්‌ නැහැ. මේ ගැන හොඳ අධ්‍යනයකින් තමයි විසඳුම් දෙන්න අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව කියන කතා එක්‌කෝ කිසිම තේරුමක්‌ නැති කතාවක්‌. එක්‌කෝ මෝඩ කතාවක්‌. එහෙමත් නැත්නම් සම්පූර්ණ බොරු කතාවක්‌. හඳෙන් හරි හාල් ගෙනත් දෙන්න පුළුවන් කියන කතා මේ තැන්පත්කරුවන්ට කියන්න හොඳ නැහැ. කුමක්‌ හෝ පොදු ව්‍යqහයක්‌ තුළ මේක නිරාකරණය කරගන්න ඕන. හැමෝටම සාධාරණය ඉටුවන පරිදි, දැන් ඒ වැඩපිළිවෙළ උසාවියෙන් අනුමැතිය ඇතිව කරගෙන යනව. එහෙම නැතිව මේක මහජනතාවට දරන්න කියන්න බෑනේ. දැං මම කාගෙ හරි වංචාවකට අහුවෙලා ඔබට කියනවා නම් ඒක ගෙවන්න කියල එහෙම කරන්න බෑ. එතකොට සාධාරණව අවසරලත් තැන්පත්කරුවන්ට තියෙන සාධාරණය කුමක්‌ද? ශේ්‍රෂ්ඨාධිකරණයෙන්ම අනුමැතිය ඇතිවයි විසඳුමක්‌ ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඒ ගමන යනව. මැජික්‌ බලෙන් හෝ අණදීම් තුළින් මේ ප්‍රශ්න විසඳන්න බෑ. පුදුම කතා තමයි මේ අය කියන්නේ. දුකයි මේ කියන කතා ගැන. සම්පූර්ණ මුලාවක්‌නේ මේ කරන්නේ.

ප්‍රශ්නය - අලුතින් නිකුත් කරපු රුපියල් 1000 නෝට්‌ටුව සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන විවේචන ගැනත් යම් පැහැදිලි කිරීමක්‌ කරන්න. හිටපු අගවිනිසුරුතුමා පවා මේ නෝට්‌ටුව විවේචනය කළා.

පිළිතුර - 1951 දී අපේ රටේ නෝට්‌ටු නිකුත් කිරීමේදී මහා බ්‍රිතාන්‍යයේ ඩසස වන ජෝර්ඡ් රජතුමාගේ පින්තූරය යොදා ගත්තා. 1954 දී අපේ රටේ නෝට්‌ටුවට ෂෂ වැනි එලිසබෙත් මහරැජිනගේ ඡායාරූපය යොදා ගත්තා. මේ නිදහස්‌ ශ්‍රී ලංකාවේ නෝට්‌ටුවලට, ඒ වගේ කාසි හා නෝට්‌ටුවලට අපේ නායකයන් වන එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක, ඡේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස යන අයගේ ඡායාරූප යොදා ගත්තා. දැන් මේ යුද ජයග්‍රහණය සමරන්න අපේ රටේ නායකයකුගේ ඡායාරූපයක්‌ යොදාගත් විට එල්ල වන විවේචනවලින් පේන්නේ මේ අය මොන තරම් වෛරයකින් කටයුතු කරනවාද කියන එකයි.

මම මේ කියන කතා කෙලින්ම හෙළා දකිනව. මෙහෙම ඉහළ තනතුරු දරපු කෙනකුත් මෙහෙම කියනවා නම්, ඒක ඒ අයගේ චරිතයටයි. ඒ අය දරපු තනතුරටත් ගැලපෙන්නේ නැති කතාවක්‌ කියල මම කියන්න කැමැතියි.

ප්‍රශ්නය- මේ වසරේ (2010) අගෝස්‌තු 28 වැනිදාට ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 60ක්‌ සම්පූර්ණ වෙනවා. මේ සමරුවට මොනවද කරන්නේ? ඒ දින වනවිට ඔබ පාර්ලිමේන්තුවේ සිටීවිද?

පිළිතුර - නෑ. නෑ. (සිනාසෙමින්) මම මෙහෙම තමයි ඉන්නේ. ඒක ඉතිං ජනාධිපතිතුමාගේ තීරණය. මට හිතෙනව මෙතැන ඉඳන් රටට විශාල සේවයක්‌ කරන්න පුළුවන් කියල. මෙතැන තමයි කේන්ද්‍රය. රටේ ප්‍රගතියට සෘජු දායකත්වයක්‌ ලබාදෙන්න පුළුවන් තැනක්‌ මෙතැන.a

සාකච්ඡා කළේ - ශ්‍යාම් නුවන් ගනේවත්ත

No comments:

Post a Comment