Tuesday, September 22, 2009

අපාගත වීමේ සම්භාවිතාව



අපාගත වීමේ සම්භාවිතාව
http://www.sulekha.com/mstore/kundankannan/albums/default/IMG_1473.jpg
සෑම දෙයක්‌ ම ප්‍රමාණාත්මකව සංඛ්‍යා මඟින් ඉදිරිපත් කෙරුම පිළිබඳව අද විශාල නැඹුරුවක්‌ ඇත. සාමාන්‍යයෙන් ගුණාත්මක දෙයක්‌ වුව ද ප්‍රමාණගත කොට සංඛ්‍යා මඟින් දැක්‌වීමට විශාල උත්සාහයක්‌ ගැනේ. මෙම උත්සාහය පිටුපස ඇත්තේ සියල්ල යාන්ත්‍රික කොට සූත්‍රගත කෙරුමේ වුවමනාව ය. එම වුවමනාව පිටුපස ඇත්තේ සියල්ල මධ්‍යගත කොට ඊනියා ගෝලීයකරණයට අත්වැල් සැපයීම ය. මේ සියල්ල අද කෙරෙන්නේ පරිගණකය හරහා ය. පරිගණකයට සංඛ්‍යාවලින් තොර ව ක්‍රියාත්මක විය නොහැකි ය. කෙසේ වුව ද සියල්ල සංඛ්‍යා හරහා සූත්‍රගත කෙරුමේ මෙම වුවමනාවන් පිළිබඳව අද අපට කවුරුත් කියන්නේ නැත. ඒ වෙනුවට සඳහන් කරන්නේ යමක්‌ සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ විට ඒ පිළිබඳව නිවැරැදි යථාර්ථවාදී අවබෝධයක්‌ ලබාගත හැකි බව ය. නූතන (බටහිර) භෞතික විද්‍යාවේ බොහෝ දෑ සඳහා එය සත්‍ය ය. එහි දී යම් යම් සංසිද්ධීන් සඳහා නිශ්චිත සූත්‍ර ඉදිරිපත් කළ නොහැකි විට සම්භාවිතාව, සංඛ්‍යානය ආදිය පිහිට කොටගෙන සූත්‍ර ගොඩනැඟේ. එහි දී සූත්‍රය නිශ්චිත වුවත් එමඟින් කියෑවෙන්නේ යමක්‌ සිදුවීමට ඇති ඉඩ කඩ (සම්භාවිතාව) පිළිබඳව පමණ ය.

ගණිතය එක්‌තරා භාෂාවකි. එමඟින් යම් යම් සංසිද්ධීන් සාමාන්‍ය භාෂාවකට වඩා හොඳින් සංක්‍ෂිප්තව විස්‌තර කළ හැකි බව ද සැබෑ ය. උදාහරණයක්‌ ලෙස අප ගලක්‌ පොළොවේ සිට විවිධ වේගවලින් විවිධ දිශාවන්ට විසි කළ හොත් එය වැටෙන තැන, නඟින උපරිම උස ආදී දෑ සරල සමීකරණ කීපයක්‌ ඇසුරෙන් ප්‍රකාශ කළ හැකි ය. මෙය සාමාන්‍ය භාෂාවකින් පැහැදිලි කිරීමට ගිය හොත් පොත් ගණනක්‌ ලිවීමට සිදු වනු ඇත. නිව්ටන් ගේ නියම මත ගොඩනැඟී ඇති සමීකරණ මගින් අප අවට සංසිද්ධීන් අතිවිශාල ගණනක්‌ ඉතා හොඳින් පැහැදිලි කරගත හැකි ය. මේ සඳහා අප දැනගත යුත්තේ අදළ සමීකරණ සහ ඒවා හැසිරවීම සඳහා අදාළ යම් පමණක ගණිතයක්‌ පමණි.

ඉහත සියල්ල එසේ වුවත් සංඛ්‍යා මඟින් (ගණිතය ද සහිතව) සියල්ල පැහැදිලි කරගත හැකි ද යන්න විමසිය යුතු ය. එනම් ඕනෑ ම දෙයක්‌ පිළිබඳව පැහැදිලි "හැඟීමක්‌" මෙමඟින් ඇති කර ගත හැකි ද? මෙහි දී අවබෝධය, තේරුම් ගැනීම ආදියට වඩා හැඟීමක්‌ ඇති කර ගැනීම යන්න වඩාත් වැදගත් වේ යෑයි සිතමු. අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් ගේ "බුදුදහමට ආවේණික අනාත්මය" පොතේ පංචස්‌කන්ධය යන්න විස්‌තර කෙරුමේ දී මෙම "හැඟීම" යන්න පිළිබඳව සඳහන් වේ. එහි දී අපට රූපයක්‌ (බාහිරින් එන හෝ අභ්‍යන්තර අරමුණක්‌) පිළිබඳව ප්‍රථමයෙන් ඇති වන්නේ දැනීම ය (වේදනාව). අනතුරුව හැඟීමක්‌ (සංඥා) ඇති වේ. ඉන්පසු සිතීම (සංස්‌කාර) ඇති වන අතර ඒ සමග ම හිතන බව දැනගැනීම (විඤ්ඤාණය) ඇති වේ. මේ අනුව අපට වැදගත් වන්නේ යමක්‌ හෝ යම් සංසිද්ධියක්‌ හෝ පිළිබඳ හැඟීමක්‌ ඇති කර ගැනීම ය. දැන් ගැටලුව වන්නේ සෑම දෙයක්‌ පිළිබඳව ම සංඛ්‍යා මඟින් හැඟීමක්‌ ඇති කර ගත හැකි ද යන්න ය.

හුදු සංඛ්‍යාවක්‌ (ඉලක්‌කමක්‌) යනු වියුක්‌ත සංකල්පයකි. එහෙත් එය යම් ඉන්ද්‍රිය ගෝචර දෙයක්‌ සමග ගැට ගැසුණු විට අපට යම් හැඟීමක්‌ ඇති කරගත හැකි ය. උදාහරණයක්‌ ලෙස පොල්ගෙඩි සියයක්‌ යෑයි සඳහන් කළ විට අපට යම් හැඟීමක්‌ ඇති වේ. ඒ අපට පොල් ගෙඩි සියයක්‌ පිළිබඳ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් ඇති නිසා ය. එසේ ම උණුසුම සෙල්සියස්‌ අංශක 100ක්‌ යෑයි කී විට ඒ පිළිබඳව ද අපට හැඟීමක්‌ ඇති වේ. ඒ අප සෙල්සියස්‌ සියය යනු ජලය නටන උණුසුම බව දන්නා නිසා ය. එසේ ම සෙල්සියස්‌ බිංදුව පිළිබඳව ද (එය ජලය මිදෙන උණුසුම නිසා) හැඟීමක්‌ ඇති නිසා මේ දෙකේ අතර (හෝ පිට) ඇති සෙල්සියස්‌ 600, 1200 ආදිය පිළිබඳව ද අපට යම් හැඟීමක්‌ ඇති කරගත හැකි ය. රුධිරයේ සීනි මට්‌ටමට පැවතිය යුතු සාමාන්‍ය පරාසය අප දන්නේ නම්, යමකු ගේ සීනි මට්‌ටම එම පරාසය ආසන්නයේ ඇති නම්, එහි ඇති අවදානම හෝ අවදානමක්‌ නොමැති බව ආදිය පිළිබඳව අපට යම් හැඟීමක්‌ ඇති කරගත හැකි ය. මෙසේ ම දුර මැනීමේ දී අපට ගෝචර වන දුරවල් පිළිබඳව, ඒවායේ කිලෝමීටර් ගණන සඳහන් කළ විට එම දුර පිළිබඳව අපට හැඟීමක්‌ ලැබේ. එහෙත් අතිවිශාල සංඛ්‍යාවක්‌ පිළිබඳව හෝ අතිශය කුඩා සංඛ්‍යාවක්‌ පිළිබඳව හෝ අපට හැඟීමක්‌ ඇති කරගත හැකි ද?

උදාහරණයක්‌ ලෙස නැවත පොල් ගෙඩි ගණන ගනිමු. අපට පොල් ගෙඩි සියයක්‌, දාහක්‌, දහ දාහක්‌ පිළිබඳව එනම් එහි ගොඩේ ප්‍රමාණය ආදිය ලෙස හැඟීමක්‌ ඇති වුවත් පොල් ගෙඩි 10100ක්‌ පිළිබඳව හැඟීමක්‌ ඇති කරගත හැකි ද? මෙහි පරිමාව (එම පොල් ගෙඩි ගණන ගන්නා ඉඩ) අපට ගණනය කළ හැකි වුවත් එහි දී ලැබෙන තවත් මෙවැනි ම සංඛ්‍යාවකින් ප්‍රකාශිත ඝන මීටර් ගණන අපට යම් හැඟීමක්‌ ඇති කරයි ද? යම් දුරක්‌ මීටර 10100ක්‌ යෑයි කිව හොත් අපට එය පිළිබඳ හැඟීමක්‌ වේ ද? මෙහි දී මේ පිළිබඳව හැඟීමක්‌ ඇති කර ගැනීමට නම් අවම වශයෙන් අපට යම් හැඟීමක්‌ ඇති දුරක්‌ මෙන් එය කී ගුණයක්‌ ද යන්න ලෙස හෝ මෙය ප්‍රකාශ කළ යුතු ය. එහෙත් මෙම කී ගුණය යන්න ද පෙර පරිදි ම අති විශාල සංඛ්‍යාවක්‌ නම්, එමඟින් ද අපට එතරම් හැඟීමක්‌ ඇති නො වේ. කාලය පිළිබඳව ද මෙසේ ම ය. අපට වසර 100ක්‌, 1000ක්‌ වැනි කාලයක්‌ පිළිබඳව හැඟීමක්‌ ඇති කරගත හැකි වුවත් වසර 10100ක්‌ පිළිබඳව හැඟීමක්‌ තිබිය හැකි ද?

ඉතා කුඩා සංඛ්‍යා පිළිබඳව ද තත්ත්වය මෙය ම ය. අපට සෙන්ටිමිටර 10-100ක දිගක්‌ පිළිබඳව හැඟීමක්‌ ඇති කර ගත හැකි ද? මෙවැනි ඉන්ද්‍රීය ගෝචර දිගක්‌ අප දන්නේ ද? මේ අනුව අපට සිතෙන්නේ යම් ඉන්ද්‍රිය ගෝචර දෙයක්‌ වුව අති විශාල සංඛ්‍යාවක්‌ සමග සබැඳෙන විට එනම් එම ඉන්ද්‍රිය ගෝචර දේ අදාළ සංඛ්‍යාවෙන් ගුණ වූ විට ලැබෙන ප්‍රතිඵලය පිහිටන්නේ අප ගේ ඉන්ද්‍රිය ගෝචර සීමාවෙන් ඔබ්බේ නම් අපට එය හුදු සංඛ්‍යාවකට වැඩි දෙයක්‌ නො වන බව ය. (මෙහි දී ඉන්ද්‍රිය යන්නට මනස ද අයත්ය.)

අපි තව උදාහරණයක්‌ ගෙන බලමු. එනම් විද්‍යාවේ ඉගැන්වෙන ඇවගාඩ්රෝ අංකය (6ග023දූ1023) භාවිත කරමින් අප කොපමණ ගැටලු විසඳුවත් අපට මෙම ප්‍රමාණය පිළිබඳව හැඟීමක්‌ ඇති වේ ද? මේ ගැටලුව පිළිබඳව දැන සිටි නිසා දෝ අප සාමාන්‍ය පෙළ පංතියේ සිටිය දී ජනප්‍රිය විද්‍යා දේශක කේ. ආරියසිංහ මහතා මෙම ඇවගාඩ්රෝ අංකය පිළිබඳව කියා දුන් යම් ආකාරයකට එය පිළිබඳව හැඟීමක්‌ ඇති කරගත හැකි "උපමාවක්‌" මෙහි දී සඳහන් කිරීම වැදගත් වේ. එනම් ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණය පුරා මීටර් 100ක්‌ උසට කොත්තමල්ලි ඇට පිරවුව හොත් එම කොත්තමල්ලි ඇට ප්‍රමාණය (ගණන) ඇවගාඩ්රෝ සංඛ්‍යාවට ආසන්න ලෙස සම වන බව ය. මෙමඟිsන් අපට හුදෙක්‌ 6ග023දූ1023 යන සංඛ්‍යාවට වඩා හොඳින් එම සංඛ්‍යාව පිළිබඳව හැඟීමක්‌ ඇති විය. මේ අනුව ඇවගාඩ්රෝ සංඛ්‍යාව පිළිබඳව කීමේ දී 6ග023දූ1023 යන්න සඳහන් නො කර එය ඉහත පරිමාවේ ඇති කොත්තමල්ලි ඇට ගණනට ආසන්න ලෙස සම සංඛ්‍යාවක්‌ යෑයි පමණක්‌ ප්‍රකාශ කිරීම යෝග්‍ය නො වේ දැයි කෙනකුට සිතීමට බැරි නැත. එහෙත් එය එසේ කළ නොහැකි ය. මන්ද මෙම සංඛ්‍යාත්මක අගය අදාළ ගණනය කිරීම් සඳහා අවශ්‍ය බැවිනි.

මේ අනුව අපට සිතෙන්නේ සංඛ්‍යා මඟින් යම් දෙයක්‌ පිළිබඳව පැහැදිලි හැඟීමක්‌ ඇති කරගත හැක්‌කේ එය ඉන්ද්‍රියගෝචර (මනස ද ඉන්ද්‍රියයකි) සීමාවේ ඇත්නම් පමණක්‌ බව ය. එසේ නොමැති වුව හොත් එය හුදු සංඛ්‍යාවක්‌ පමණි. එවැනි සංඛ්‍යා භාවිත කොට (ඉහත ඇවගාඩ්රෝ අංකය වැනි) යම් යම් ගණනය කිරීම් කොට ඉන්ද්‍රිය ගෝචර ප්‍රතිඵල ඇතැම් විට ලබා ගත හැකි වුවත් එම ප්‍රමාණ පිළිබඳව අපට හැඟීමක්‌ නැත.

මනස ද ඉන්ද්‍රියයක්‌ වන නිසා පංෙච්න්ද්‍රියයන් ඇසුරු කිරීමකින් තොර ව සෘජුව මනසට ම යමක්‌ පිළිබඳ හැඟීමක්‌ ලබාගත නොහැකි දැයි කෙනකුට සිතීමට බැරි නැත. ඒ පිළිබඳව ඉතා සාමාන්‍ය මනස්‌ ඇති අපට යමක්‌ ප්‍රකාශ කළ නොහැකි ය. ඇතැම් විට සංසාරයේ ලද අත්දැකීම් ඔස්‌සේ ඇතැම් අයට එසේ පිළිවන් වීමට හැකි ය. කෙසේ වුවත් අප මේ සාකච්ඡා කරන්නේ සාමාන්‍ය මනස්‌ සහ සාමාන්‍ය තත්ත්වයන් පිළිබඳව ය. වෙනත් යම් යම් දෑ යම් යම් ආකාරවලට වෙනස්‌ වීමේ දී සිදු වන්නේ කුමක්‌ දැයි යන්න පිළිබඳව අපට හැඟීමක්‌ ඇති කරගත හැකි වුවත් මනස වෙනස්‌ වූ විට කුමක්‌ සිදු වේ දැයි යන්න පිළිබඳව මේ මනසින් හැඟීමක්‌ ඇති කරගත නොහැකි ය යන්න මේ මනසින් අපට හැඟීමක්‌ ඇති කරගත හැකි උපරිම සීමාව ලෙස අපට සිතේ.

බුදුදහමේ සහ බෞද්ධ සාහිත්‍යයේ විවිධ අවස්‌ථාවල දී විශාල ප්‍රමාණ පිළිබඳව ගෙනහැර දක්‌වා ඇතිආකාර කිහිපයක්‌ දැන් විමසා බලමු. කල්පය යන්න හඳුන්වා ඇත්තේ යොදුන බැගින් දිග, පළල, උස ඇති ගලක්‌ වසර සියයකට වරක්‌ සිනිඳු රෙදි කඩකින් යමකු විසින් පිරිමදිනු ලබන්නේ නම් එම ගල මුළුමනින් ම ගෙවී යාමට ගත වන කාලයටත් වැඩි කාලයක්‌ ලෙස ය. දැන් මේවා දහයේ බල ආශ්‍රිත සංඛ්‍යා ලෙස ප්‍රකාශ නො කර මෙලෙස උපමා මඟින් දැක්‌වූයේ ඇයි? මෙහි දී කෙනකුට සිතෙනු ඇත්තේ එකල දහයේ බල ආදිය ප්‍රචලිතව නො තිබූ නිසා මෙලෙස දැක්‌වූ බව ය. එහෙත් එලෙස ගෙන හැර දැක්‌වුව ද එනම් දහයේ විශාල බලයක්‌ ලෙස මේ පිළිබඳව එනම් "කල්ප" කාලය පිළිබඳව හැඟීමක්‌ ඇති කරගත හැකි ද?

අද අපට අවශ්‍ය නම් යම් යම් උපකල්පන තරමින් මෙම කාලයන් සංඛ්‍යයා මගින් දැක්‌විය හැකි ය. එහෙත් ඊට වඩා හොඳ හැඟීමක්‌ එකී ක්‍රම ඔස්‌සේ ලැබේ. දැන් මෙහි දී තවත් ගැටලුවක්‌ මතු වේ. එනම් විශාල සංඛ්‍යා ගෙනහැර දැක්‌වීමේ ගණිත ක්‍රම (දහයේ බල ආදී වූ) නො දන්නා අයට පමණක්‌ පෙර කී උපහැරණ ප්‍රයෝජනවත් නො වන්නේ ද යන්න ය. එහෙත් අපට සිතෙන්නේ ගණිතය දන්නා අයට වුව එවැනි සංඛ්‍යා හුදු වියුක්‌ත සංකල්ප පමණක්‌ වන බව ය. ගණිත රාමුවෙන් පිටත ඔවුනට එම සංඛ්‍යා පිළිබඳව හැඟීමක්‌ ඇති කරගත හැකි ද? ගණිත රාමුව තුළ පමණක්‌ එම සංඛ්‍යා පිළිබඳ හැඟීමක්‌ ඇති කරගෙන ඇති ඵලය කුමක්‌ ද? ගණිතය සඳහා පමණක්‌ වන ගණිතයෙන් මානසික වින්දනයකට වැඩි දෙයක්‌ ලැබේ ද? එහෙත් කල්පය පිළිබඳ හැඟීම වූ කලි හුදෙක්‌ ගණිතමය වින්දනයකට සීමා කළ හැක්‌කක්‌ නො වේ. එය සංසාරය හා සබැඳි ව බුදු කෙනකුන් පහළ වීමට ගන්නා කාලය පිළිබඳව කියෑවෙන්නකි. සංසාරයේ බියකරු බව සහ ඉන් මිදීමේ අවශ්‍යතාව පිළිබඳව මෙමඟින් හැඟීමක්‌ ඇති විය යුතු ය.

මෙසේ ම තවත් අවස්‌ථාවක දී බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ මෙලොව වෙසෙන පුද්ගලයන් ගණන, මෙලොව ඇති සමස්‌ත පස්‌ ප්‍රමාණය හා සැසඳිය හැකි නම්, නිය මතට ගත හැකි පස්‌ ප්‍රමාණය හා සැසඳිය හැකි පිරිසක්‌ පමණක්‌ ඊළඟ භවයේ සුගතිගාමී වන බව ය. මේ අනුව කෙනකු ලබන භවයේ සුගතගාමී වීමේ ඉඩකඩ (සම්භාවිතාව) පිළිබඳව හැඟීමක්‌ ඇති කරගත හැකි ය. එහෙත් මෙය දහයේ විශාල සෘණ බලයක්‌ ලෙස ප්‍රකාශ කළ හොත් මේ හැඟීම ඇති කළ හැකි ද? මෙම හැඟීම ඇති කළ යුත්තේ අන් කිසිවකට නො ව සංසාරයේ බියකරු බව එනම් කෙනකු අපාගත වීමේ ඉඩකඩ කොපමණ ද යන්න පිළිබඳව කියා දීමට ය. දහයේ සෘණ බලයකින් නිරූපිත වියුක්‌ත සංඛ්‍යාවකට එය කළ හැකි ද?

එසේ ම තවත් අවස්‌ථාවක බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේ අපාගත වීමේ ඉඩකඩ අශ්වයකු ගේ පිට මත තැබූ බෙලි ගෙඩියක්‌ බිම වැටීමට ඇති ඉඩකඩට වඩා වැඩි බව ය. මෙමඟින් සංසාරය පිළිබඳ කොපමණ බියකරු හැඟීමක්‌ ඇති වේ ද? මෙය කෙලෙසකින් හෝ ගණනයට කර දහයේ සෘණ බලයක්‌ ලෙස දැක්‌වුව හොතA මෙම හැඟීම ඇති වේ ද?

මෙවැනි ම සම්භාවිතාව (ඉඩකඩ) පිළිබඳව කියෑවෙන තවත් කදිම උපහරණයක්‌ වන්නේ කණ කැස්‌බෑවා විය සිදුරෙන් පුන් සඳ බැලීම වැනි ය යන්න ය. මෙය කෙතරම් කදිම ද? මේවා කෙතරම් සංයුක්‌ත පැහැදිලි උපහැරණ ද? මෙසේ ම ඉතා කුඩා කාල එනම් සිත "පවතින" කාලය ආදිය ඇසිපිය හෙළන කාලය සමග සසඳා ඉදිරිපත් කර ඇත.

මේ අනුව සෑම දෙයක්‌ ම පිළිබඳව නිවැරැදි හැඟීමක්‌ ඇති කර ගැනීමට එය සංඛ්‍යාත්මකව ගෙනහැර දැක්‌වීම අවශ්‍ය නැත. බුදුදහමේ කියෑවෙන ඉහත දක්‌වා ඇති අවස්‌ථා පිළිබඳව සැබෑ හැඟීමක්‌ ඇති කරගත හැක්‌කේ ඒවා ඒ ආකාරයට ඉදිරිපත් කිරීම නිසා ය. ඒවා සංඛ්‍යාවලට පෙරළුව හොත් එම හැඟීම නැති වී යයි. එසේ ම සෑම දෙයක්‌ ම සංඛ්‍යාවට භාර දිය නොහැකි ය.

සංඛ්‍යාවලට පෙරළිය නොහැකි, එනම් ගණන් කළ නොහැකි දෑ (කුලක) පිළිබඳව ගණිතයේ ද සඳහන් වේ. ඒවා ඹබජදමබඒඉකැ seඑs ලෙස හැඳින්වේ. උදාහරණයක්‌ ලෙස අපරිමේය සංඛ්‍යා කුලකය දැක්‌විය හැකි ය. ගණන් කිරීම පිළිබඳ නූතන ගණිතයේ අර්ථ දැක්‌වීමට ගැලපෙන පරිදි හෝ නො ගැලපෙන පරිදි හෝ විශ්වයේ (සංසාරයේ) දිග, පළල, ඇරඹුම, අවසානය, අප ගේ පෙර භවයන් "ගණන" ආදිය ද සංඛ්‍යා මගින් ගෙනහැර දැක්‌විය හැකි දෑ නො වේ ය යන්න අප ගේ අදහසයි. බුදුන් වහන්සේ සංසාරයේ පූර්ව කෝටිය (ඇරඹුම) නො පනවා ඇත්තේ එය අපට සිතාගත නොහැකි තරම් අතිශය ඈත නිසා නො ව (එනම් අනන්ත නිසා නො ව) එම ඈත කෙළවර කොතැන ද, කොපමණ වසර ගණනකට පෙර ද ආදිය "ගණන් කිරීම" යන්නෙන් පිට පවත්නා නිසා ය. අප ගේ සංස්‌කෘතිය තුළ සංසාරය හා සබැඳි එම පරාමිති ද ගණන් කළ නොහැකි කුලකවලට ම අයත් වේ. අසංඛෙයිය වන්නේ මේවා ද?

තවත් කදිම උපහරණයක්‌ වන්නේ කණ කැස්‌බෑවා විය සිදුරෙන් පුන් සඳ බැලීම වැනි ය යන්න ය. මෙය කෙතරම් කදිම ද? මේවා කෙතරම් සංයුක්‌ත පැහැදිලි උපහැරණ ද? මෙසේ ම ඉතා කුඩා කාල එනම් සිත "පවතින" කාලය ආදිය ඇසිපිය හෙළන කාලය සමග සසඳා ඉදිරිපත් කර ඇත.

මේ අනුව සෑම දෙයක්‌ ම පිළිබඳව නිවැරැදි හැඟීමක්‌ ඇති කර ගැනීමට එය සංඛ්‍යාත්මකව ගෙනහැර දැක්‌වීම අවශ්‍ය නැත. බුදුදහමේ කියෑවෙන ඉහත දක්‌වා ඇති අවස්‌ථා පිළිබඳව සැබෑ හැඟීමක්‌ ඇති කරගත හැක්‌කේ ඒවා ඒ ආකාරයට ඉදිරිපත් කිරීම නිසා ය. ඒවා සංඛ්‍යාවලට පෙරළුව හොත් එම හැඟීම නැති වී යයි. එසේ ම සෑම දෙයක්‌ ම සංඛ්‍යාවට භාර දිය නොහැකි ය.

සංඛ්‍යාවලට පෙරළිය නොහැකි, එනම් ගණන් කළ නොහැකි දෑ (කුලක) පිළිබඳව ගණිතයේ ද සඳහන් වේ. ඒවා ඹබජදමබඒඉකැ seඑs ලෙස හැඳින්වේ. උදාහරණයක්‌ ලෙස අපරිමේය සංඛ්‍යා කුලකය දැක්‌විය හැකි ය. ගණන් කිරීම පිළිබඳ නූතන ගණිතයේ අර්ථ දැක්‌වීමට ගැලපෙන පරිදි හෝ නො ගැලපෙන පරිදි හෝ විශ්වයේ (සංසාරයේ) දිග, පළල, ඇරඹුම, අවසානය, අප ගේ පෙර භවයන් "ගණන" ආදිය ද සංඛ්‍යා මගින් ගෙනහැර දැක්‌විය හැකි දෑ නො වේ ය යන්න අප ගේ අදහසයි. බුදුන් වහන්සේ සංසාරයේ පූර්ව කෝටිය (ඇරඹුම) නො පනවා ඇත්තේ එය අපට සිතාගත නොහැකි තරම් අතිශය ඈත නිසා නො ව (එනම් අනන්ත නිසා නො ව) එම ඈත කෙළවර කොතැන ද, කොපමණ වසර ගණනකට පෙර ද ආදිය "ගණන් කිරීම" යන්නෙන් පිට පවත්නා නිසා ය. අප ගේ සංස්‌කෘතිය තුළ සංසාරය හා සබැඳි එම පරාමිති ද ගණන් කළ නොහැකි කුලකවලට ම අයත් වේ. අසංඛෙයිය වන්නේ මේවා ද?

(මෙම ලිපියේ නිමිත්ත විදුසර කතු තුමා ගේ ය. මහාචාර්ය නලින් ද සිල්වා මහතා ගේ ලිපි හා දේශනවලින් ලබාගත් අදහස්‌ සහ ජයවර්ධනපුර සරසවියේ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් කුමාර මහතා ගේ අදහස්‌ ද මෙහි දී වැදගත් විය. එහෙත් මෙම ලිපියේ යම් යම් දොdaෂ ඇත්නම් ඔවුන් ඒ සඳහා වගකිවයුතු නැත.)

No comments:

Post a Comment