Friday, October 2, 2009

අවශතා නිවැරැදිව වටහා ගන්න

දරුවා ගැන සුබවාදීව හිතන්න

ළමයින් යනු වැඩිහිටියන් ගේ ආරම්භක අවධිය ය. ඔවුන් යහපත් අයුරින් රැක බලා ගැනීම මාපියන්ට ද, දරුවන්ට ද පමණක්‌ නො ව සමාජයට ද යහපතකි. ඔවුන් ගේ ජයග්‍රහණය සතුටින් භුක්‌ති විඳින්නට නම් මාපියන් ගත යුතු පියවර කිහිපයක්‌ වේ.

දරුවන් ගේ අභිමානය පෝෂණය කිරීම

කුඩා කල දරුවන් සතුටක්‌ ලබන්නේ මාපියන් නිසා ය. මාපියන් ගේ කටහඬ, අඟපසඟ, ඇස්‌ දෙක වැනි හැම දෙයක්‌ ම සංවේදීව දරුවා විඳ ගනී. දරුවා ගේ ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමට මාපියන් ගේ වචන, ක්‍රියා, කර්තව්‍ය හා සමාන කිසිවක්‌ ලොව නැත. ළමයා අගය කිරීම, හැකියාව හඳුනා ගැනීම මෙන්ම ස්‌වාධීනව කටයුතු කිරීමට පුහුණු කිරීම, ඔහු ගේ ජීවන නිපුණතාවට හේතු වේ. වචන පරිස්‌සමෙන් තෝරා දයාව පෙන්වන්න. වැරැදි සිදු වන නමුත් තම දරුවාට ඇති ආදරයේ වෙනසක්‌ නැති බව පෙන්වන්න. දඬුවම වරදට මිසක්‌ තම හැඟීම් මුදා හරින්නට නො වේ. ඊට හේතුව පෙන්වා දිය යුතු ය. දරුවා ගේ නිපුණතාව අගය කිරීම ආඩම්බරකම විඳ ගැනීමට රුකුලකි. තම කටයුතු කරගැනීමට ඔහුට ම පැවරීම ඔහු ගේ හැකියාව හා ස්‌වාධීනතාව විඳ ගැනීමට ද හේතු වේ.

හොඳ දරුවකු ලෙස හඳුනා ගන්න

තම දරුවා ගැන ඔබ දැක්‌වූ යහපත් ප්‍රතිචාර හා විවේචන ගැන සිතන්න. වඩා හොඳ දේ නම් කළ හොඳ දේ ගැන කථා කිරීම ය. නිතර නිතර බැන වදිනවාට වඩා දරුවා ගේ යහපත් චර්යාවන් අගය කිරීමට වැඩිපුර සිත යොදවන්න. එය දරුවා ගේ සිතෙහි දිගු කලක්‌ පවතී. හැම දිනක ම ප්‍රශංසාවක්‌ කිරීමට කුමන හෝ කරුණක්‌ හොයා ගන්න. ප්‍රශංසාව, ආදරය, සෙනෙහස හා තුටු පඬුරු නිර්ලෝභීව ලබා දීමෙන් ළමයා අප පුදුම කරවන පුද්ගලයකු බවට පත් වෙයි. ඔබ ගේ හැසිරීම ද මේ නිසා වෙනසකට ලක්‌ වේ.

ස්‌ථිර විනයක්‌ පවත්වා ගැනීම

සෑම කටයුත්තක දී ම ස්‌ථිර විනයක්‌ තිබීම අත්‍යවශ්‍ය කරුණකි. මේ නිසා දරුවා තමා පාලනය කර ගැනීමට මෙන්ම යහපත් චර්යාවන් ඇති කර ගැනීමට පුරුදු පුහුණු වෙයි. වගකිවයුතු වැඩිහිටියකු බවට පත් වීමට මෙම සීමාවන් අවශ්‍ය ය. ගෘහ ජීවිතයේ විනය නීතිය පවත්වාගෙන යැමට මාපියන් ගේ බලාපොරොත්තු දරුවන් විසින් අවබෝධ කරගනු ලැබීම හා ස්‌වයං පාලනය අවශ්‍ය කෙරෙයි. ගෙදර ක්‍රමවත් බවක්‌ තිබීම, අවවාද දීම, දැනුවත් කිරීම, අදාළ පහසුකම් ඇති කර දීම ආදිය මේ සඳහා උපකාරී වේ. වරින් වර වෙනස්‌ වන, ස්‌ථාවර නො වන ගෘහ ජීවිතයේ නීතිරීති නිසා දරුවෝ අස්‌ථාවර තත්ත්වයකට පත් වෙති. ඊයේ එකක්‌ කථා කර අද එය ප්‍රතික්‌ෂේප කිරීම නිසා දරුවෝ විනය ගරුක පුද්ගලයන් නො වෙති. නො වෙනස්‌ වන ඉගැන්වීම් දරුවා අවබෝධ කර ගනී. එක ම අතපසු වීම නිතර නිතර සිදු වීම දරුවා ගේ ස්‌ථිර විනයක්‌ පවත්වා ගැනීමට බාධාවක්‌ වේ. මාපියන් විනයගරුක දරුවා ද විනයගරුක පුද්ගලයෙකි.

දරුවන් වෙනුවෙන් දිනයේ වේලාවක්‌ වෙන් කර ගන්න

අද බොහෝ මාපියන්ට විවිධ අවශ්‍යතා නිසා දිනයේ ටික වේලාවක්‌ දරුවන් සමග ගත කරන්නට අපහසු තරම් ය. එකට එක්‌ ව කෑම මේසයේ අසුන් ගැනීම, ඔවුන් සමග වත්ත පිටියේ ඇවිදීම, දරුවන් වෙනුවෙන් විශේෂ අවධානය යොමු කිරීම වැනි දේ දරුවෝ ඉතා අගය කරති. ඒ නිසා දරුවන්ට තම අවශ්‍යතා මිත්‍ර ලීලාවෙන් මාපියන් සමග කථා කිරීමට හා පවුලේ කටයුතුවලට හවුල් වීමට අවස්‌ථාවන් හා අත්දැකීම් ලබා දිය යුතු ය. ඔබ රැකියාවක යෙදීම නිසා කාලය වෙන් කිරීමට නොහැකි නම් වෙළෙඳපොළට යන විට, වත්ත පිටියේ වැඩ කරන විට ඔවුන් ඊට හවුල් කර ගැනීම වැදගත් ය. මේ නිසා පවුලේ වගකීම පිළිබඳව දරුවා අවබෝධයක්‌ ලබන අතර ඒවා ඉටු කිරීමේ ක්‍රමෝපායන් ද ඔහු ඉගෙන ගනියි.

ආදර්ශවත් වන්න

දරුවා ඔබ ගේ නිරූපණය ගැන සිතමින් දකිමින් ඔවුන් ගේ අනාගතය හැඩ ගස්‌වා ගනී. දරුවන් තම හැඟීම් පාලනය කර ගැනීමට පුරුදු පුහුණු වනුයේ මාපියන් තමන් ඉදිරියේ කරන කටයුතු දැකීමෙනි. දරුවන් නිතර ම අප නිරීක්‌ෂණය කරන බව තරයේ මතක තබා ගන්න. මිත්‍රත්වය, අවංකභාවය, ගරුත්වය, කරුණාව හා දරාගැනීමේ හැකියාව වැනි ගුණ දරුවා තුළ ඇති කළ හැක්‌කේ ඔබ සුවිශේෂී චරිතයක්‌ වීමෙනි. ආත්මාර්ථකාමී නො වී අන් අය ගේ ප්‍රතිලාභ අපේක්‍ෂා නො කර අන් අයට උදව් කරන්න. ස්‌තූතිය හා කෘතවේදී බව නිතර නිතර පුහුණු කරන්න. අන් අය ඔබට ගරු කළ යුතු යෑයි සිතෙන ආකාරයට ඔබ දරුවන්ට ගරු කරන්න.

කථා බහට ප්‍රමුඛත්වය දෙන්න

දරුවන් ගේ අවශ්‍යතා සැහැල්ලුවෙන් සලකන්නට බොහෝ මාපියෝ පුරුදු වී සිටිති. ඔවුන් සමඟ කථා බහට ප්‍රමුඛත්වයක්‌ නො දී, දරුවන් ගේ ප්‍රශ්නවලට හරිහැටි ඇහුම්කම් නො දී, ඒවා තෝරා බේරා නො දෙන්නේ නම් දරුවන් ඔබ ගැන වැරැදි තීරණවලට එළඹෙන්නට ඉඩ ඇත. අප ගේ අගයන් හා වටිනාකම් ගැන ඔවුන් වෙනත් විදිහකට වටහා ගැනීමට ඉඩ ඇත. ඔබ බලාපොරොත්තු වන දේවල පැහැදිලි හා නිරවුල් බවක්‌ තිබිය යුතු ය. ඔබ ගේ යෝජනා හා අදහස්‌ ඔවුනට පවසන්න. ඔබ ගේ සාකච්ඡාවලට දරුවනුත් හවුල් කර ගන්න. ඔබ ගේ තීරණවලට ඔවුන් සහභාගී කර ගැනීම දරුවන් උනන්දු කරවීමට විශාල ශක්‌තියක්‌ වෙයි. නිතර කථා බහ කරන්න.

නම්‍යශීලීව අවස්‌ථාව අනුව කටයුතු කරන්න

දරුවන් ගේ චර්යාව හා ගතිගුණ පරිසරයට අනුකූල වේ. දරුවන් ගේ චර්යාවන් වෙනස්‌ කිරීමට ඔවුන් ගේ පරිසරය වෙනස්‌ කළ යුතු ය. ඒ සඳහා ඔබ ගේ ජීවන රටාව ද ක්‍රමයෙන් වෙනස්‌ කළ යුතු වේ. දරුවන් වෙනුවෙන් බොහෝ කැප කිරීම් කළ යුතු ය. වාසනාව ම දරුවන් ගේ අනාගත යහපතට උපකාරී නො වේ.

කොන්දේසි නැති ආදරය පෙන්වන්න

දරුවාට මඟපෙන්වීම හා නිවැරැදි කරවීම මාපියන් ගේ වගකීමකි. විවිධ වෙනස්‌කම් සඳහා ඔබ ගේ නිවැරැදි මඟපෙන්වීම දරුවන්ට ලබා දෙන්නේ කෙසේ දැයි විමසිලිමත් වන්න. දරුවන්ට චෝදනා කිරීම, විවේචනය කිරීම හා වරදට හසු කිරීම දරුවන් ඉදිරියේ නො කරන්න. එසේ කළ හොත් ඔවුන් ගේ ආත්ම අභිමානය යටපත් වී අමනාපයක්‌ ගොඩනැඟෙයි. දරුවන් ගේ පෝෂණය වෙනුවෙන් ඇප කැප වීම තරම් ම එය වැදගත් වේ. ඊළඟ වාරයේ දී දරුවා නිවැරැදිව හා වඩාත් හොඳින් තම කටයුතු නිම කරන බව තමා දන්නා බව දරුවාට හඟවන්න.

ඔබගේ අවශතා නිවැරැදිව වටහා ගන්න

ඔබ සර්ව නිර්දෝෂී පුද්ගලයකු නො වන අතර පවුලේ නායකයන් වශයෙන් ඔබ ගේ ද ශක්‌තීන් හා දුර්වලතා ඇත. තමා ගේ ද සැබෑ හැකියාවන් හඳුනාගත යුතු වේ. යථාර්ථවාදී බලාපොරොත්තු ඇති කරගත යුතු ය.

කළමනාකරණය කළ මාපියභාවයක්‌ ගොඩනඟන්නට උත්සාහ කරන්න. හැම දෙයක්‌ ගැන ම කථා කරනවා වෙනුවට විශේෂ අවශ්‍යතා ඉලක්‌ක කරන්න. පවුලේ දැවෙන ප්‍රශ්න ගැන අවබෝධයක්‌ ලබා ගන්න. අවශ්‍ය විටෙක සතුටක්‌ ලබන විවේකයක්‌ ගන්න. ආත්මාර්ථකාමී නො වී ඔබ ගේ අවශ්‍යතා ගැන විමසිලිමත් වන්න. ඔබ ගේ කැප වීම තවත් පැත්තකින් දරුවන්ට හොඳ ආදර්ශයක්‌ වේ වි.

No comments:

Post a Comment